වැස්ස වලාහක දෙවිවරු : ථෙරවාද අටුවා විස්තර සහ එහි සත්‍යතාව

 ~ වැස්ස වලාහක දෙවිවරු ~

අටුවා කතාවක්,

එක් වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයෙක් හිමාල පර්වත වැසි එක් රහතන් වහන්සේ නමකගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේය. තෙරුන් වහන්සේ “නුඹ කවරෙක්ද?”යි විමසූහ. “ස්වාමීනි! මම වැස්ස වලාහක දිව්‍ය පුත්‍රයෙක්මි.” “නුඹගේ සිතින් මෙහෙයවීමෙන් වැසි වසින්නෙහිද?” “ස්වාමීනි! එසේය.” “අපි එය දකිනු කැමැත්තෙමු.”යි තෙරුන් වහන්සේ වදාළවිට “ස්වාමීනි! ඔබවහන්සේ තෙමෙන්නේයැ”යි දෙව්පුතු කීය. එවිට තෙරණුවෝ “වැහි වළාකුලක් හෝ මේඝ ගර්ජනාවක් හෝ නොපෙනේ. කෙසේ තෙමෙන්නේද?”යි ඇසූහ. “ස්වාමීනි! මගේ සිතින් වැස්ස වසී. ඔබවහන්සේ පන්සලට වඩින්න”යි දෙව්පුතු කීය. “යහපති, දෙව්පුතුනි”යි පැවසු තෙරණුවෝ පා සෝදාගෙන පන්සලට වැඩියහ. දෙව්පුතු උන්වහන්සේ පන්සලට වැඩි මොහොතේම එක් ගීයක් ගයා අත එසවීය. හාත්පස යොදුන් තුනක් පමණ ප්‍රදේශයේ එකම මේඝයක් (වැස්සක්) විය. තෙරුන් වහන්සේ අඩක් තෙත්වුණු පන්සලට පිවිසියහ. - සංයුත‍්තනිකායො අට‍්ඨකථා, ඛන්‍ධවග‍්ග, 11. වලාහකසංයුත‍්තං,  සුද‍්ධික සුත‍්තාදිවණ‍්ණනා  

 අටුවා විස්තරය,

වලාහක සංයුත්තයේ - “වලාහකකායිකා” යනු වලාහක නම් දේව කොට්ඨාසයේ උපන් ආකාශචාරි දෙවියෝය. “සීතවලාහකා” යනු ශීතල ඇතිකරන වලාහකයෝය. සෙසු පදයන්හි ද මෙම ක්‍රමයම යෙදේ. “චෙතො පණිධිමත්‍වාය” යනු සිත එක අරමුණක තැබීමට සමාධිගත කිරීමට පැමිණ යනුයි. “සීතං හොති” යනු යමක් වස්සානයේ හෝ හේමන්තයේ හෝ ශීතල ඇතිවේද ඒ සෘතුව එළඹ සිටියේය. යම් ශීත කාලයක අධික ශීතලත්, ග්‍රීෂ්මයක උපදින ශීතලත් දෙවියන්ගේ ආනුභාවයෙන් මැවූ “සීතල” නම් වේ. “උණ්හං හොති” යනු ගිම්හාන ඍතුවේ හටගන්නා ස්වභාවික උණුසුමයි. යම්විටෙක උෂ්ණ කාලයේ ඇතිවන අධික උණුසුමද සීත කාලයේ උපදින උණුසුමද දෙවියන් විසින් ඉපිද වූ උණුසුමක් ලෙස හැඳින්වේ. “අබ්භං හොති” යනු වළාකුළු මණ්ඩලයක් වේ. මෙයද වස්සානයේ හා සිසිර ඍතුවල යම් වලාකුලක් උපදී ද ඒ සෘතුවලින් හටගත් වළාකුළු ප්‍රකෘතියෙන්ම ඇතිවූයේය. යම් වලාකුළු ඇතිවීමකදී දැඩි වළාවන් හටගනියිද සත්දිනක්ම සඳහිරු පවා වසාගෙන දැඩි අඳුර පවතීයිද යම් ඒ බක්-වෙසක් මාසයන්හි වලාකුළු ඇතිවේද මේ සියල්ල දෙවියන්ගේ ආනුභාවයෙන් උපන් වලාකුළු නම් වේ. “වාතො හොති” යනු ඒ ඒ ඍතුවෙහි උතුරු-දකුණු ප්‍රදේශවල යම් ස්වාභාවික සුළඟක් ඇතිවේනම් එය ඍතුවෙන් හටගත්තකි. යම් ඒ සුළඟක් රුක් කඳ ආදිය පලාදමන දැඩි සුළඟක් වේද නොකල්හි හටගත් සුළඟක් වේද ඒ සියල්ල දේවතානුභාවයෙන් නිපදවුණු සුළං නම් වේ. “දෙවො වස්සති” යු යම් වැසි සාරමාසෙහි වසින වැස්ස ස්වාභාවික වූවකි. ස්වභාවිකව හටගත්තකි. යම් වැස්සක්, වර්ෂා සමයේ අධිකව පවතීයිද බක්-වෙසක් මාසයන්හි පවතින වැස්ස දෙවියන් විසින් ඉපිදවූවක් නම් වේ.

තවද දෙවියෝ නම් අට කරුණකින් වැසි වස්වති. නාගානුභාවයෙන්, සුපර්ණයන්ගේ ආනුභාවයෙන්, දේවතානුභාවයෙන්, සත්‍ය ක්‍රියාවෙන්, ඍතු හටගැනීමෙන්, මාරාවර්තනයෙන්, සෘද්ධි බලයෙන්, වැහිවලාකුළු විනාශ කිරීමෙන් යන ක්‍රම අටෙනි. 
https://tipitaka.lk/atta-sn-3-11-1-1/sinh 

වැස්ස වලාහක දෙවිවරුන්ගේ ක්‍රියාකාරීත්වයේ සත්‍යතාව පිළිබඳ ඇගයීමක්.

තමලු මලිත්ත පියදිගමගේ සටහනකි,
වලාහක සංයුක්තයේ සූත්‍ර දේශනා කියවන විට අප එක්තරා ඥාන විභාග අගතියකින් ඒ දෙස බැලීමට පෙළඹේ. අප හිතන්නේ වැසි ඇතිවීම වැනි සංසිද්ධිවල සැබෑ ආකාරය බුදු දහමේ විග්‍රහ නොකෙරෙන බවයි.

මීට කරුණු දෙකක් තෘප්ත විය යුතු ය.
  1. වැසි ඇති වන සැබෑ ආකාරය දැන් අපි දනිමු.
  2. වලාහක දෙවියන් වැනි අයගේ බලපෑම් නිසා වැසි ඇතිවිය නො හැකි ය කියා අපි තිර ලෙස දනිමු.

මේ දෙකින් එකක්වත් අප දන්නේ නැත. මේවා අතර විහිළු හා ගැඹුරු යෝජනා තීරණය වෙන්නේ එක් දෙයකිනි.යෝජනා කෙරෙන යාන්ත්‍රණයේ සංරචක අචේතනික ය යන්නෙනි. එසේ නම් මෙය ගැඹුරු යෝජනාවක් යැයි ගැනේ. සචේතනික නම් එය විහිළුවක් ලෙස ගැනීමට අප පොළොඹවා ඇත. මෙය ඓන්ද්‍රිය විද්‍යාවල සිට ද්‍රව්‍යවාදයට යෑමේ පෙළඹුමයි.

වැසි ඇති වීම පිළිබඳව මේ වන විට පිළිගන්නා ප්‍රධාන මතය අනුව හුදෙක් ජල වාෂ්ප තිබීමෙන් වැසි ඇති වන්නේ නැත. මෙහි වැදගත් කොටසක් වන්නේ දිය බිඳිති හා අයිස් සහිත වලාකුළු සෑදීමයි. ඒ සඳහා න්‍යෂ්ටි ලෙස එයරොසල් අවශ්‍ය වේ. මේවා ඛනිජවලින් ද ලැබිය හැකි වෙතත් නිරීක්ෂණ අනුව වැඩි කොටස ජීවී සම්භවයක් දරන දේ වේ. Bio precipitation යන නමින් හැඳින්වෙන්නේ මෙම ආචරණයයි.

වැසි ඇති වීමට බොහෝ සෙයින් ජීවී බලපෑම් ඇති බව පෙනේ. මින් වැඩි එයරොසල් කොටසක සම්භවය තහවුරු කරගෙන ද නැත. බැක්ටීරියා වැහි ඇති කිරීමට හේතු වේ.

මෙයින් කියන්නේ සමහරු දැන් අහන්නට නලියන පරිදි වස්ස වලාහක දෙවියන් යනු බැක්ටීරියා ද යන්න ය. එහෙම එකක් මේකේ කියන්නේ නැත. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. (දෙවියෝ හියුමොනොයිඩ් කතාවක් කියලා නෑ) මේකෙන් කියන්නේ ජීවී ක්‍රියාකාරීත්ව නිසා වැසි ඇති වෙන්න පුළුවන් බව. ඒක බැක්ටීරියා ම වෙන්න ඕනේ කියලා එකක් නෑ. යම් යම් හැඟීම් සමඟ වායුගෝලයට එයරොසල් එකතු කරන ප්‍රාණී කොටස් ඉන්න බැරි කමක් නෑ.
ජීවීන් නැති ලෝකයක මේ ආකාරයේ වැහි නොතිබෙන්නත් පුළුවන්,

"Despite the integral role of ice nucleators (IN) in atmospheric processes leading to precipitation, #their_sources_and_distributions_have_not_been_well_established. We examined IN in snowfall from mid- and high-latitude locations and found that the most active were #biological_in_origin. Of the IN larger than 0.2 micrometer that were active at temperatures warmer than -7 degrees C, 69 to 100% were biological, and a substantial fraction were bacteria."
Christner, B. C., Morris, C. E., Foreman, C. M., Cai, R., & Sands, D. C. (2008). Ubiquity of biological ice nucleators in snowfall. Science, 319(5867), 1214-1214. (මේක Science සඟරාවේ පළවුණු citation 301ක් තියෙන පත්‍රිකාවක්)

Comments

Post a Comment