~ දෙවිනුවර පූජා නගරය සහ ආශ්‍රිත කළාපය තුල ඇති ආරක්ෂා කළ යුතු සහ හඳුනාගත යුතු පූජනීය හා ඓතිහාසික ස්ථාන. ~
දක්ෂිණ ශ්‍රී ලංකාවේත් දකුණු තුඩුවේ පිහිටි සුප්‍රකට දේවනගරය හෙවත් "දෙවිනුවර" යනු අනුරාධපුර රාජධානි සමයේ පටන් කෝට්ටේ රාජධානියේ අවසානය දකවාම පැවතුනු, කිසි විටෙකත් මහ ජනයාගෙන් හුදෙකලා නොවුනු පුරාණ දේවාල නගරයකි. ඒ සමස්ථ කාලය පුරාම මේ උතුම් නගරය පූජා භූමියකි. මේ ශ්‍රී ලංකාද්වීපය සහ සම්බුද්ධ ශාසනය භාරදාරිව වැඩ වාසය කරන උපුල්වන් සුරිඳුන් වෙනුවෙන් ඉදි වූ විහාරය සහිත මහා දේවාලය මේ දෙවිනුවරට පැමිණෙන කොයි කාටත් ආශිර්වාදයක්ම විය. මේ නගරවරයේ වඩාත් සෞභාග්‍යමත්ම කාලසීමාව ඇතිවන්නේ 13වන සියවසේ සිටයි. මහා සමුද්‍රයට මුහුණලා තිබූ සිංහාසනය සහිත තුන් මහල් දේව මන්දිරය මුහුදින් යන නාවිකයන් හටද එසමයේ අනිවාර්ය මඟ සළකුණක් විය. ඒ හේතුවෙන්ම "දෙවුන්දර ගන්දර නොදැක යන නැවක් හම්බානක් නැත." යනුවෙන් කියමන් පවා දෙවිනුවර ජනවහරට එකතුවුනි. මේ ඒ පෞරාණික නගර වරයේ තිබූ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන ස්ථානයන් රැසක එකතුවකි.
1)කිහිරැලි විහාරය සහ පිරිවෙන
වර්ථමාන දෙවිනුවර රජ මහා විහාරය වන්නේ මෙම අතීත කිහිරැලි රජ මහා විහාරයයි. ක්‍රි.ව. 659-661 අතර රජකම් කළ පළමු දප්පුල රජු විසින් ඉදි කරන ලද මෙම දේවාල-විහාරය පසුකාලීනව නෙණභූමි මහා විහාරය නමින්ද හැඳින්විනි (6වන පැරකුම්බාවන්ගේ අරුතන්ත්‍රී සන්නස). පෞරාණික රජ මහා විහාරයට අයත් දාගැබ සහ ඊටම අයත්ව තිබූ වටාදාගයේ හා සිටි බුද්ධ ප්‍රතිමාවේ අවශේෂමය නටබුන් තවම පවතී. වත්මන් දාගැබට පලඳවා ඇති කොතද පුරාණ දාගැබෙන් ලැබුණක් බවට විශ්වාස කෙරේ.
ප්‍රතිසංස්කරණයට ලක්වූ පැරණි දාගැබ.පැරණි වටදාගෙයේ ගල් කණු සහිත නටබුන්. උපුටාගැනීම -. https://archive.org/details/in.ernet.dli.2015.70788
2)නන්දන පිරිවෙන
චන්ද්‍රභානු පැරදවීමට උපුල්වන් සුරිඳුන්ට වූ භාරය ඔප්පු කිරීමට දෙවිනුවර විහාරය තුල වීරබා ඈපාණන් ඉදි විසින් කරන ලද සංඝාරාමයකි. නටබුන් විනාශ වී හෝ හඳුනා ගැනීමට නොහැක.
3)ගලතුරුමුල පාය
දෙවන දාඨෝපතිස්ස රජු විසින් ඉදි කරන ලද අතර පොළොන්නරු යුගයේදි මහා විජයබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි. කෝට්ටේ යුගය වන විට ගලතුරුමුල පාය දෙවිනුවර විහාරය තුළ වූ විශාලතම ගොඩනැගිල්ල වූ අතර එය තුන් මහල් ප්‍රාසාදයක් බව තොටගමුවේ සිරි රහල් හිමියන් පරෙවි සන්දේශයේ කියා ඇත. වත්මන් දෙවිනුවර ධම්මපද විහාරය අසල මෙහි නටබුන් වූ ගල්කණු සහ ගජසිංහ කොරවක්ගල් ඉතිරිවී ඇත.
4)උත්පලවර්ණ දිව්‍ය රාජ භවනය/தேனவரை ஆழ்வார் கோவில்
පළමු දප්පුල රජු විසින් ඉදිකරන ලද වසර 1358ක් පැරණි ලක්දිව වාර්ථාගත ඉතිහාසයක් ඇති පෞරාණිකම දේව මන්දිරයි. ලක්දිව රචනා වූ සන්දේශ කාව්‍ය 6න් 4ක්ම රචනා වූයේ දෙවිනුවර දෙවොලේ ආශිර්වාදය පතාය. දෙවන පැරකුම්බා රජු විසින් ප්‍රතිසංකරණය කරන ලද මෙම දෙවොල මධ්‍යකාලීන ශ්‍රී ලංකාව තුල බෞද්ධ හින්දු දෙපාර්ශවයේම වන්දනාවට ලක්වූ ප්‍රධාන මහ පුදබිමයි. කෝට්ටේ යුගය දක්වාම සිංහල බෞද්ධයන් උත්පලවර්ණ දිව්‍ය රාජයා ලෙසත් හින්දු බැතිමතුන් තේනවරෛ නායනර් ලෙසත් මෙම දේවාලයට අධිපති දෙවියන් වන්දනා කරන ලද අතර දේවොලේ මණ්ඩපය තුළ දිනපතා සන්ද්‍යා නර්තන පූජා ඉටු විනි. ශෛලමය ගජසිංහ කොරවක්ගල් 4ක්, මනස්කාන්ත ගල් උළුවස්සක් සහ දේවාල මණ්ඩපයට අයත් ගල්කණු රාශියක් සහ පුරාණ අත්තිවාරමේ ඇතැම් කොටස් (වත්මන් දෙවොල ඇතුළත) තවමත් ඉතිරිවී පවතී.
5)චතුර්වේද මංගලම් අග්‍රහාරය/रामेश्वरम मंदिर
දෙවිනුවර මහා දේවාලයේ තේවා කටයුතු කල "තේනුවර පෙරුමාල්" බ්‍රාහ්මණයන් වෙනුවෙන් ඉදිවුන බ්‍රාහ්මණ ග්‍රාමයයි. වත්මන් කපුගම පරදේශයේ පිහිටා තිබුනු බව සැලකේ. දැනට කපුගම ඉඩමක ඇති පුරාණ ගල්කණු මීට අයත් ලෙස සැලකිය හැක.
6)දේවරාජ සත්‍රය
"ඉරාචාක්කල් තිරුස්සන්නිධියිල්..." යන සඳහන අනුව මහා දේවාල භූමිය අසලම තිබූ බව නායිම්මන දෙමළ සෙල්ලිපිය කියයි. මහා දේවාලයේ තේවාව කල බ්‍රාහ්මණයන් 12 දෙනා වෙනුවෙන් දානය සැපයුනේ,මෙම දේවරාජ සත්‍ර දානශාලාවේය. නටබුන් සොයාගත නොහැක, මේ පිළිබඳ සඳහන් සෙල්ලිපිය පමණක් ජාතික කෞතුකාගාරයේ පවතී.
7) ඔත්පිළිම විහාරය
4වෙනි පරාකරමබාහු රජු විසින් ඉදිකරන ලද දෙමහල් විහාරයකි. දෙවිනුවර විහාරය තුල තිබූ ප්‍රධාන පිළිමගෙයකි. වත්මන් ඔත්පිළිම විහාරය තුල මීට අයත් අත්තිවාරම, ගල්කණු සහ කොරවක්ගල් තිබේ.
8)සිටිපිළිම විහාරය
සේනාලංකාධිකාර සෙනෙවිරත් අගමැති විසින් ගම්පොළ යුගයේදී ඉදිකල තුන් මහල් විහාරයකි. ඔත්පිළිම විහාරයට ඉදිරියෙන් පිහිටා තිබූ බව සැළකේ. මෙහි සඳකඩපහණ සහ පඩිපෙළ කොටස් ඉතිරිව තිබේ. කුඩා ශෛලමය සිටිපිළිම වහන්සේලාද විහාර බිමෙන් හමුවී තිබේ.
9)මාවත් මඩුව
බොහෝ විට ලක්දිව තුල තිබූ දීර්ඝතම ශාලාව විය හැක. දෙවිනුවර පෙරහැර ගමන් කලේ මේ ගෘහය තුලිනි. මහා දේවාලයේ සිට සිංහාසනය තෙක්ම මහවත් මඩුව විහිදී පැවතුනි. අතීතයේ මාවත් මඩුවට අයත් ගල්කණු පේලි සතර සිංහාසන වෙරළ තෙක්ම විහිදී තිබුනද අන්තනෝමතික සංවර්ධන කටයුතු හේතුවෙන් ලක්දිව තිබූ දීර්ඝතම ශාලවේ නටබුන් රැසක් අද අපට අහිමිව තිබේ.
10)දේව සිංහාසනය
කතරගම දෙවියන් ගොඩබට වෙරළ තීරයේ ඉදි වී ඇති මෙය උපුල්වන් දෙවියන්ගේ ගමන් මාලිගාව හෙවත් සිංහාසනයයි. මහ පෙරහැරින් වැඩමවන දේවාභාරණ තාවකාලිකව තැන්පත් කරන්නේ මෙහිය. වාසනාවකට මෙන් සෙල්මුවා සිංහාසනයත් ඒ වටා ඇති ගල්කණුත් අදටත් ඉතිරිව පවතී.
11)කයිසාවැල්ලේ තොන්ඩේශ්වරම් ශ්‍රී ඊශ්වර කෝවිල/தேவன் துறை கோயில்
ලිඛිත මූලාශ්‍ර කීපයක පමනක් සඳහන් අද්භූත දේවාලයකි. පුරාණ පංච මහා ශිව කෝවිල්වලට අයත් දකුණු දිග දෙවොලයි. කයිසාවැල්ලේ තිබී මීට අයත් සෙල්මුවා නන්දි රූප (ශිව වාහනය) 2ක් කාම්බෝජ ලෝකේශ්වර පිළිමය්ස්,පාර්වතී පිළිම සහ,ශිව ලිංග හමු වී තිබේ. ඔත් පිළිම විහාරය අසලින් හමුවූ මහා ශිව ලිංගයද මීට අයත් බව සැලකේ (එය පෘතුගීසීන් විසින් සිදු කරන ලද විනාශයෙන් පසු ගෙනවිත් දමන්ට ඇත.).
12)වැල්ලේ මඩමේ ගණ දෙවි කෝවිල/गणपती देऊळ
සන්දේශ කාව්‍ය 3කම සඳහන් පරසිදු දෙවොලක් සහිත අම්බලමකි. දමිළ පූජකයන් සේවය කළ, රාමචන්ද්‍ර නම් වෛෂ්‍ය (වෙළඳ) ප්‍රධානියෙක් භාරයේ පැවති දෙවොලක් බැවින්, මෙය දෙවිනුවරට පැමිණි හින්දු භක්තික වෙළඳුන්ගේ සුවිශේෂි පුදබිමක් වන්නට ඇත. වත්මනේ අම්බලමේ නටබුන් පමණක් කිසිවෙකුගේ අවදානයක් නොමැතිව ඔහේ පවතී.
13)ගල්ගෙය හෙවත් සූර්ය දෙවොල
පුරාණ සිංහලයන්ගේ තාරකා විද්‍යා දැනුම සහ ගණිත ඥානය පෙන්වන කැඩපතකි. සූර්යාගේ පොළොවට සාපේක්ෂ පිහිටීම සහ ඒ අනුව සූර්යා මුදුන්වන දිනය ගණනය කළ හැඛි පරිදි හිරු එලිය වැටෙන සිදුරක් ගලගෙයේ තිබූ මුත් වත්මනේ එය වසා දමලාය.කෙසේ වුවත් සම්පූර්ණ ගොඩනැගිල්ලේ බොහෝ කොටස් ඉතිරිව පැවතීම සතුටකි. මේ ආසන්නව උමං සහ පුරාණ නිදන් සැඟව ඇති බවට ජනප්‍රවාද පවතී.
14)කහපොකුණ සහ පත්තිනි අම්මාන් දේවාලය/अम्मा मन्दिर
දෙවිනුවර උපුල්වන් දෙවොලේ එක් දිය කැපීමක් සිදුවුනේ මේ ස්ථානයේය. පෙරහැර මෙහි පැමිණි විට සියලු දෙනා මෙහි දියෙන් පවිත්‍ර වෙති. වත්මනේ කහ පොකුණ පමනක් වල් වැදී පවතී දේවාලය සම්පූර්ණයෙන් විනාශවී ඇත. පාසල් භූමියක පිහිටි බැවින් යලිත් මෙම ස්ථානය ගොඩගත හැකි යැයි සිතීමම අභව්‍යය.
16)නාග කෝවිල/நாக கோவில்
කොකිළ සන්දේශයේ සහ පරෙවි සන්දේශයේ පමනක් සඳහන් තවත් අද්භූත දේවාලයකි.දෙවිනුවරට එන මාර්ගයේ උග්ගල් බැවුල ආසනනයේ පිහිටා තිබුනු බව එම සන්දේශ අනුව වටහාගත හැක. නාග පිදීම පිළිබඳ ලක්දිවින් ලැබෙන සාධක අතර වැව් ආශ්‍රිත නාග රූප මුරගල්වලින් පසු ලැබෙන තවත් අපූරු සාධකයකි මෙය, එහෙත් මෙහි නටබුන් සියල්ල වැනසී ගොසිනි.
17)දෙවිනුවර විසිරි ඇති පුරාණ තොණ්ඩි ලිං සහ පොකුණු
පුරාණයේ පටන් මහා දේවාලයට ආ බැතිමතුන් විසින් භාවිතා කරන ලද ලිං සහ පොකුණුය.
18)දෙවිනුවර මහා දේවාලය සතුව ඇති පුරාණ චන්ද්‍ර සූර්ය විරිඳු කොඩිය,දිවියා කොඩිය,දශාවතාර කොඩි හා සේසත්,පුරාණ කෞරව වංශික ධජ,මාතර සිංහ කොඩිය,මයුරවාහනාරූඨ කොඩිය සහ කුරු ඇතා බැඳි කොඩිය ද දීර්ඝ ඉතිහාසයක් ඇති ආරක්ශා කළ යුතු ධජ පතාක වෙති.මේවා දෙවිනුවරටම අවේනිකය.
දෙවිනුවර ගුරුලා කොඩිය පිළිබඳ ගම්පොළ යුගයේ සිට වාර්තා ලැබුනත් නූතන ගුරුලා කොඩිය අධික ලෙස විකෘති වී ඇති බව කණගාටුවෙන් කිව යුතුය.
19)අත්තුඩාවේ ධම්මරක්ඛිත ස්ථවිර සීමාමාලකය
පෘතුගීසි විනාශයෙන් පසු දෙවිනුවර රජ මහා විහාරය යලිත් ඇතිවුනේ ධම්මරක්ඛිත සමිඳුන්ගේ අප්‍රතිහත කැපවීමෙනි.බුරුම දේශයේ තීහු හෙවත් ස්වර්ණගුහා සීමාවෙන් 1807 දී උපසම්පදාව ලබා පැමිණ මෙරට අමරපුර ධර්මරක්ෂිත හෙවත් මිහිරිපැන්නේ නිකාය ආරම්භ කිරීමේදී අත්තුඩාවේ ධම්මරක්ඛිත මහනාහිමි මුලිකව දෙවිනුවර රජ මහ විහාරයේ සීමාව සමම්ත කරන ලදි.
20)අත්තුඩාවේ ධම්මරක්ඛිත ස්ථවිරයන්වහන්සේගේ සමාධිය
වත්මනේ දෙවිනුවර ගල්ගනේ පාරෙ පිහිටා ඇති කාගේවත් අවදානයට ලක්නොවී ඇති කුඩා චෛත්‍යය.දෙවිනුවර රජ මහ විහාරය යලි ආරම්භ කල අත්තුඩාවේ නාහිමියන්ගේය.තවමත් ඉතිරිව ඇති මෙම ස්ථානය වහාම සංරක්ෂනයකොට සුදුසු ගෞරව බුහුමන් දැක්විය යුතුය.
මෙහි දක්වා ඇති සෑම ස්ථානයකම සහ සෑම කෞතුක භාණ්ඩයක්ම දෙවිනුවර පුරාණ උරුමය මේ යැයි කියන මිල කළ නොහැකි වස්තූන්ය.අපේ පණ මෙන් මේවා ආරක්ශා කළ යුතුය.
සටහන-අභිෂේක් යසස්ථි රන්දෙනිය ©️
Comments
Post a Comment