සමන් දේව සහෝදරී මහ ලොකු අක්කා දේවතාවිය සොයා
~ සමන් දේව සහෝදරී මහ ලොකුවෝ අම්මා සොයා... ~
මිනිස් ඇසට දෘශ්‍යමාන නොවන භෞතික ලෝකයේ සීමාවෙන් ඔබ්බට ගිය නානාප්‍රකාර අදෘශ්‍යමාන බලවේගයන් විෂයෙහි අභිචාරවිධි පැවැත්වීම මානව ශිෂ්ඨාචාරයන් සියල්ලකම පාහේ යම් යම් ආකාරයෙන් ස්ථාපනය වී ඇත්තකි. ඒ අතරින් ශ්‍රී ලංකාව තුළපවතින්නේ ප්‍රධාන වශයෙන් බුදු දහම ඇසුරු කොටගත් විටින් විට භාරතීය හින්දු සමයෙන්ද ආභාශය ලද ස්වදේශීය බහු දේවවන්දනාවකි. අදෘශ්‍යමාන බලවේග ස්ත්‍රීපුරුෂ භාවයන්ගෙන් සැළකීම ඇතැම් සංස්කෘතීන්හී ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ දේවසංකල්පය තුළද පුරුෂ දෙවිවරුන් හා ස්ත්‍රී දෙවිවරුන් ගෞරවයට සහ පූජාවට පත්වේ. ලාංකීය දේව සංකල්ප රාශියක් පිළිබඳවිවරණ සපයන සිංහල දේවපුරාණයෙහි දැක්වෙන දේව නාමාවලි (ධර්මදාස, තුන්දෙනිය 2015; 123-129) දෙස බලන කළ පැහැදිලි වන්නේ පුරුෂ දෙවිවරුන් සිය ගණනින් සිටියද ස්ත්‍රී දෙවිවරුන් සිටින්නේ කුඩා ගණනක් පමණක් බවකි.
කෙසේ වුවද ඒ සුළුතරයක් වූ දෙවඟනන් නොයෙක් විට පුරුෂ දෙවිවරුන්ටද වඩා බලසම්පන්න බවක් විදහා පෑ අවස්ථාවන්ද ඇතිබව ලාංකීය දේවාභිචාර තුළින් හෙළිවන්නකි. උග්ගල් අලුත්නුවර කතරගම පෙරහැරේ පෙරමුනේ ගමන් කරමින් අවසන දිය කපනදා කඳ සුරිඳුන්‍ටද සලං හොලවා ආශිර්වාද කරන පත්තිනි අම්මාගෙන්ද (ගමගේ 2016; 109, 122,126) අන් කිසි දෙවියෙකුට නොහැකි සියලු වඳුරු (වසූරිය) වසංගත වින හරිනා වඳුරු මා දේවි සහ කිරි අම්මා දේව සංකල්පයන් (ධර්මදාස, තුන්දෙනිය 2015; 423, 230) තුළින්ද ප්‍රකට වන්නේ එයයි. සියලු කිරි අම්මාවරු අතරින් ඌවේ බින්තැන්නේ ඉතා ජනප්‍රිය දේව සංකල්පයක්වන්නේ මහ ලොකුවෝ කිරි අම්මා දේවතාවිය වන්දනයයි.
- කිරි අම්මාවරු
ලක් වැසි වැදි ජනයා ප්‍රධාන වශයෙන්ද වැදි ජනාවාස හා ආශ්‍රිත සිංහල ජනයාද තරමක් දුරට වන්දනා කරන ස්ත්‍රී දේව සංකල්පයක්වන්නේ කිරි අම්මා සංකල්පයයි. එය ප්‍රධාන වශයෙන් රෝගයන්ගෙන් ආරක්ෂා වීම, දරුපල සහ දරුවන් රැකීම අරභයා බලපැවැත්වූ දේව සංකල්පයකි (ධර්මදාස, තුන්දෙනිය 2015; 229, 230). වැදි ජනයාද සිංහල ජනයාද කිරි අම්මාවරු නමින් හැඳින්වූදෙවඟනන් රාශියක් වෙනුවෙන් අතීතයේදී අභිචාර විධි ඉටු කළ අතර, ඔවුන් කුකුළාපොළ කිරි අම්මා (කුවේණිය), කෝවිල් වනමකිරි අම්මා (වල්ලි දේවිය) සහ කොස්ගම කිරි අම්මා ආදී ලෙසින් ප්‍රසිද්ධ චරිත (විජය, කඳ කුමරු, කොස්ගම දෙවි) හා බැඳිකාන්තා චරිතයන්ගෙන්ද සමන්විත බැව් පෙනී යයි. සිංහල සම්ප්‍රදාය තුළ මෙම කිරි අම්මාවරුන් පත්තිනි අම්මා දිව්‍යාංගනාවගේපරිවාර දේවතාවියන් වශයෙන් සැළකේ. පත්තිනි දේවියද හළඹ කුමාරි/ හඳුන් කුමාරි කිරි අම්මා ආදී ලෙසින් සැළකෙන අතර (Kulatilaka 1984; 57) අද දක්වාම පැවත එන කිරි අම්මා දානය පත්තිනි අම්මා දේව සංකල්පයේ සහ කිරි අම්මා දේවසංකල්පයේ එකතුවට දැක්විය හැකි මනාම නිදසුනකි.
- සමන් අක්කණ්ඩිය වූ කිරි අම්මා
ශ්‍රීපාදස්ථානයට අධිපති යැයි සැළකෙන සමන් දෙවියන් පිළිබඳ මුල්වරට සඳහන් දීපවංසය සහ මහාවංසය අනුව මහියංගන චෛත්‍යය නිර්මාණය කරන්නේද සමන් දෙවියන් විසිනි (ම.ව. 01: 33 - 36). ඒ අනුව මහියංගනය හා සමන් දෙවියන් අතර සෘජු සබැඳියාවක් ඇත. එබැවින් සමන් දෙවියන් ඇසුරු කරගත් ජනශ්‍රැති සහ විශ්වාස පද්ධතීන් බිම්තැන්න හෙවත් මහියංගන කළාපයතුළ පැවතීම බලාපොරොත්තු විය යුත්තකි. වෙසෙසින්ම ප්‍රධාන දේව සංකල්පයක් හා අනුබද්ධව පරිවාර දේව සංකල්ප බිහිවීමලක්දිව තුළ නිරීක්ෂණය කළ හැක්කකි. (නිද: ඇම්බැක්කේ කතරගම දේවාලය හා ආශ්‍රිත හෙනකඳ බිසෝ බණ්ඩාර සහ ඇම්බැක්කේ දේවතා බණ්ඩාර සංකල්පය: ධර්මදාස, තුන්දෙනිය 2015; 488 - 489, 157, 158) මහ ලොකුවෝ කිරි අම්මාද ඒහේතුවෙන් සාම්ප්‍රදායිකව මහියංගනය හා බැඳි සමන් දෙවියන්ගේ අක්කණ්ඩිය වශයෙන් බින්තැන්නේදී ගෞරවයට සහ පූජාවට පත්වන දිව්‍යාංගනාවයි (එම., 2015; 375).
සමන් දෙවියන් යනු පූර්ව ඓතිහාසික යුගයේ සිටි ලාංකීය ප්‍රාදේශීය පාලකයෙකු බවටද ප්‍රභල ජනමතයක් වර්ථමානය වන විටපවතින බවද අමතක නොකළ යුතුය. බුදුරජාණන්වහන්සේගේ කේෂ ධාතු නිදන් කොට මහ පොළොවේ සෑයක් බැඳීම වැනි කටයුතුද එම විශ්වාසයට තුඩු දෙයි. සමන් දෙවියන් හා බැඳි මෙවන් අක්කා කෙනෙකු සිටීමද එතුමන්ගේ මිනිස් භවය පිළිබඳ මතයටරුකුලක් මුත් මේ සියල්ලම ජනප්‍රවාද ඔස්සේ ගොඩනැගූ උපන්‍යාසයන් (hypothesis) බව කිව යුතුමය. ඇතැමුන් මහින්දාගමනයටදපසුව ලියවුනු පනිත නම් රජෙක් හා බැඳි අභිලේඛන සමන් දෙවියන්ගේ මිනිස් භවයට සාක්ෂි ලෙස ගෙන හැර පෑවද බුද්ධ කාලයහා බැඳි සමන් දේව පුරාණෝක්ති ඊටත් අවුරුදු 300කට පසුව බිහිවුනු සෙල්ලිපි හා ගැටගැසීම අතිශයින්ම පදනම් විරහිතය. එසේම එම ශිලා ලේඛන කිසිවෙක් හෝ සඟවාද නැත. ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් පලකළ Inscriptions of Ceylon Vol. I තුළින් ඕනෑම අයෙක්ට එම අභිලේඛන කියවිය හැක.
සමන් දේව සංකල්පය හා බැඳි මෙම දිව්‍යාංගනාව මහ ලොකු අක්කා, මහ ලොකුවෝ (ධර්මදාස, තුන්දෙනිය 2015; 375) , මහලොකු අම්මා සහ මහ ලොකුවෝ කිරි අම්මා යනුවෙන්ද විටින් විට හැඳින්වෙයි. මෙම නාමයන් සළකා බලන කළ පෙනී යන්නේ ඒවාහුදු ගෞරවාර්ථයන් පමණක් සමන්විත කටවහරට ඉතා නැඹුරු නම් වන බවකි. "ලොකුවෝ" ආදී ව්‍යාවහාරයන් වියත් සිංහලයතුළ නැත. එය ග්‍රාම්‍ය ව්යාවහාරයකි. මෙය සුමන සමන් දෙවියන්ට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයකි. සුමන යනු යහපත් බව සහපුෂ්පය හඳුන්වන ඉන්දු ආර්‍ය සකු වදනකි. 'සුමන' යන ඒ තත්සම වදන 'සමන්' යනුවෙන් සිංහලට තද්භව වෙයි. එබැවින් සුමනසමන් යනු එකම වචනයේ තත්සම තද්භව රූප දෙකකි. (මෙය නිරවුල් කරදුන් හෙළ හවුලේ සකසරු ගණුශ්ක රන්දුල මහතා වෙත ප්‍රණාමය.) මෙවන් සංස්කෘත සබඳකම් නොමැති හුදු ග්‍රාම්‍ය නාමයක් ඇති බැවින් මහලොකුවෝ අම්මා වනාහී සමන් දේව සංකල්පයට වඩා වෙනස් මුහුණුවරකින් හෙබි වැදිජනතාවගේ හෝ ග්‍රාමීය ජනයාගේම දේවසංකල්පයක් බවට කරුණු මතුවේ.
සාම්ප්‍රදායික කිරි අම්මා ඇදහීම සේම වැදි ජනාවාස හා ආශ්‍රිත බින්තැන්න (මහියංගනය), හසලක සහ උඩුදුම්බර ප්‍රදේශයන් මෙම දේව සංකල්පය චිරාගතව ව්‍යාප්ත වුනු ප්‍රදේශය වෙයි. (එම., 375,376) බින්තැන්නේ වැදි පරපුරේ වෙසෙස් ගෞරවයට පාත්‍ර මෙතුමිය එම වැදි ජනයා විසින් සළකනු ලබන්නේ සමන් දෙවිඳුන්ටද වඩා බලවත් සිය ආදිවාසී ප්‍රජාව හට අම්මා කෙනෙකුවන් දෙවඟනක ලෙසිනි (රත්නපාල 1991; 55). එසේම කලක පටන් ශ්‍රීපාද ගමන් වාරය ආරම්භ කිරීම වෙනුවෙන් චාරිත්‍රානුකූලව ගල්පොත්තාවල රජ මහ විහාරයේ සිට ගමන් අරඹන සමන් දේව පෙරහැරට පූර්වයෙන් පැවැත්වෙන දේව උපචාර විධීන්ටද මහලොකුවෝ අම්මා සංකල්පය සහසම්බන්ධ වෙයි. මෙම චාරිත්‍ර විධිය වර්ෂ 2001න් පසුව ආරම්භ වූවක් බව අනාවරණය වුවද සමන් දෙවියන්ගේ වැදි සම්බන්ධය පෙන්වා දෙන එකම නිදසුන මහලොකු අක්කා බැවින් බින්තැන්නේ විශ්වාසය මේ අයුරින් සපරගමුවේ උත්සවයකටත් පැමිණීම පැරණි සංස්කෘතියේ ආරක්ෂාව පිණිස හේතුවන බව පැහැදිලි කරුණකි. වැදි ජනයා විසින් ලීයෙන් කැපූ මහ ලොකු අම්මා මූර්තියක් ගල්පොත්තාවල විහාරයේ සමන් දෙවි රුව අසලට වැඩමවා ඔවුන්ගේ කිරි කොරහ ආදි නර්තන පුජා චාරිත්‍ර විධි ඉටු කරති.
මහ ලොකු අම්මා වෙනුවෙන් කැපවූ පැරණි දේවාල තිබෙන්නේ බින්තැන්න ආශ්‍රිතව පමණී. මේ අනුව ඈ ඒ ආශ්‍රිත ප්‍රදේශයට පමණක් අධිගෘහිතවන ප්‍රාදේශීය දේවතාවියක් බව පෙනීයයි. හසලක කඳු මුදුනේ පූජනීය නුග රුකක් සහිත දෙවොලක මහලොකුවෝ අම්මා වෙනුවෙන් ඒ ආශ්‍රිත ගම්මානයන්හී බැතිමත්හු අභිචාර විධි පවත්වති. මහියංගන මහ සමන් දේවාලයේ ද ඇය වෙනුවෙන් දෙවොලක් කැප කර තිබෙන අතර එය වැදි ජනයාගෙ වෙසෙස් බැතියට පාත්‍ර වූවකි.
මහ ලොකුවෝ අම්මා විෂයෙහි ඉටුවන ඇතැම් අභිචාර විධීන්ද සුමන සමන දෙවියන් විෂයෙහි ස්ථාපිත වී ඇති පොදු ප්‍රමිතිගත උපචාර විධීන්ට (Stanndardized Cult Practices) වඩා වෙනස් ය. සමන් දේවාල පුවරු ලිපිය තුළින් හෙළිවන කෝට්ටේ යුගය වන විට සපරගමු සමන් දෙවොලේ පැවති වර්ථමානයේදීද සැළකිය යුතු මට්ටමකින් ඉටුවන එම චාරිත්‍ර විධීන්ට ආභාෂය ලැබී ඇත්තේ හින්දු ශෝඩශ උපචාරයෙනි. එහෙත් මහ ලොකුවෝ අම්මා විෂයෙහි පවත්වන පහත චාරිත්‍ර විධියට ඇත්තේ වැදි ජනයාගේ අභිචාර විධීන් තුළින් ආ ආභාෂයක් යැයි සැක කළ හැක. එනම් උඩදුම්බර සහ හසලක ගම්මානයන්හී බැතිමතුන් හසලක කඳුමුදුනේ ඇති මහලොකු අක්‌කා දෙවඟනගේ දේවාලය අසල ඇති මහා නුග වෘක්‍ෂයේ වසරකට වරක් කොඩි එල්ලා දෙවඟන සිහිපත් කිරීමයි (ධර්මදාස, තුන්දෙනිය 2015; 375). එවන් සිරිතක් සමන් දෙවියන් විෂයෙහි නැත. එය් වනාහී පැරණි වෘක්ෂ වන්දනා සිරිතක ශේෂයක් විය හැක.
- තවත් ජනප්‍රවාද
මාතර ශාන්තුශ් මහතා සඳහන් කරන පරිදි මහලොකු දේවිය, "සත්රියන් පමණ උස ඇති අරෝහ පරිනාහ දේහ විලාශයක් සහිතවරන් සළු කසී සළු සියයක් පැළඳ රන්මල් රිදී මල් හිස පැළඳ හස්ති වාහනයක නැගී යන එන බව" මෙතුමිය පිළිබඳ සඳහන්කන්නලව් තුළ කියවේ. එසේම එතුමාට අනුව "වන්නිය බණ්ඩාර දෙවියන්ගේ භාර්යාවද මහා ලොකු මෑණියන්" බවට ජනප්‍රවාදතිබේ.
පදියතලාව - මහියංගනය පාරට සමීපව සොරබොර වැව ආසන්නයේ පිහිටි පැරණි වැදිගමක් වන දෙහිගොල්ල සළු කන්ද නම්කන්දේ මහලොකු මෑණියන්ගේ සළුපිළි ආභරණ නිදන් කර ඇති බවද ඒවා අද දක්වාම පවතින බවටද ජන විශ්වාසයක් වේ (සන්නස්ගල 1991; 130) මේ වනාහී මෙම දේව සංකල්පයේ වැදිජන සබැඳියාව කියා පෑ තවත් අවස්ථාවකි. මේ අසල පදිංචි නිවන්ති බණ්ඩාරමහත්මියගේ නිරීක්ෂණ අනුව එම සලු කන්දෙ පිහිටි දේවාලය තුළ මහ ලොකු මෑණියන් උදෙසා වාර්ෂිකව උත්සවශ්‍රීයෙන් යුතු පූජාමංගල්‍යයක් පවත්වනු ලැබේ. එහිදී දරුඵල බලාපොරොත්තුවෙන් කිරි පබලු මාල පූජා කරන කාන්තාවන්ගේ එම ප්‍රාර්ථනා ඉටුවනබව විශ්වාස කෙරේ. කිරි පබලු මාලය යනු කුඩා දරුවන්ගේ හිනේ බැඳීමට ගන්නා කලුසුදු මිශ්‍ර කිරිකවඩි පබලු මාල වැලටයි. මෙය අනෙක් කිරි අම්මාවරුන්ගේ දේව සංකල්ප හා බැඳි දරුඵල විශ්වාසයම මහලොකුවෝ මෑණියන් සම්බන්ධයෙන්ද නිරීක්ෂණය කළහැකි අවස්ථාවකි.
එමෙන්ම මෙම සලු කන්දෙ දේවලයේ ඇති මහ ලොකු මෑණියන්ගේ සළුව මහියංගනය සමන් දේවාලය වෙත වැඩම කොට මහලොකු අම්මාගේ කූනමේ (දෝලාවේ) තැන්පත් කිරීමෙන් පසුව මහියංගන සමන් දේවාලයේ පෙරහර පවත්වනු ලැබෙන අතර එයින් සංකේතාත්මකව සමන් දෙවියන්ටත් වඩා මහලොකු දේවිය බිම්තැන්නේදී ප්‍රභල වන බව කියාපාන සෙයක් පෙනේ. පෙරහැරින් වැඩමවන මේ කුනමට ආදිවාසී ජනයාගේ ඉමහත් ගෞරවය හිමිවන අතර ඔවුන්ද සිංහල ජනයාද ඊට පුදපඬුරු ඔප්පු කරනු ලැබේ.
නිගමනය
ආදීවාසී වැදි ජනයා සහ වැදි ජනයා ජීවත්වන භූමි ප්‍රදේශ ආශ්‍රිතව කිරි අම්මා නම් ස්ත්‍රී දේව පංතියක් ඇදහෙන බව ඉහතදී හෙළිවිය. මහලොකු අම්මා/ අක්කා නමින් හැඳින්වෙන දෙවඟනද එවන් භූමි කළාපයක් තුළම පූජනීයත්වයට පත් ස්ත්‍රී දේව සංකල්පයක් වන අතර එතුමිය ශ්‍රී ලංකාවෙ ඇදහෙන ප්‍රධානතම දෙවියෙකු වූ සුමන සමන් දෙවියන්ගේ වැඩිමහල් සොහොයුරිය ලෙස බින්තැන්න ආශ්‍රිත ප්‍රදේශයේ වන පිළිගැනීම විශේෂ ලක්ෂණයකි. සමන් දෙවියන් විෂයෙහි ඉටුවන අභිචාර විධීන්ට වඩා වෙනස් ඇතැම් විට වැදිජන අභිචාර විධීන්ගෙන් බින්න වූ අභිචාර විධි හෝ වැදිජන අභිචාර විධීන් අනුවම්ප ජාවට පත් මහ ලොකු අම්මා වනාහී බෞද්ධ-හින්දු දෙආගමෙන් පෝෂණය වූ සිංහල දේව පූජා සංස්කෘතිය ආදිවාසී වැදිජනයාගේ ඇදහිලි සංස්කෘතිය සමඟින් එක්කරන පාලමක් යැයි හැඳින්විය හැකිය.
සටහන - අභිෂේක් යසස්ථි රන්දෙනිය ©️
ආශ්‍රිත ග්‍රන්ථ
1. ධර්මදාස, කේ. එන්. ඕ.; තුන්දෙනිය, එච්. එම්. එස්., 1994 (2015), සිංහල දේව පුරාණය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
2. ගමගේ, ඉන්දු. 2016, බළංගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
3. රත්නපාල, ඊ. ඇම්. 1991, සමන්ත කූටය හා සමන් දෙවියෝ, සාහිත්‍යය, විශේෂ කලාපය, පි. 54-59, සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව, කොළඹ.
4. සන්නස්ගල, පුංචි බණ්ඩාර. 1991, ඌවේ සංස්කෘතික දායාද, ඌව වංශ කථාව 2 වන කාණ්ඩය, ඌව පළාත් සභා සංස්කෘතික අමාත්‍යංශය, පි. 100-108.
5. Kulatilaka, C de S. 1984, Kiri Amma Worship and its Ritual Songs, Samskriti, 8, 1, pp. 53-70.
Comments
Post a Comment